උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

කැළණියේ නවෝදය

වර්තමාන ලංකා ශාසනයේ ආදි කතෘවරයා වශයෙන් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේ හැදින්විය හැක.උන්වහන්සේගේ අනුශාසනා පරිදි වර්ෂ 1780 දී මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කැළණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වැලිවිට සරණංකර හිමියන්ගේ ගෝල නමක් වූ දෙහිගස්සේ අත්තදස්සී හිමියන්ට එහි විහාරාධිපති පදවිය පිරිනැමීය.


මේ අවස්ථාවේ කීර්ති ශ්‍රී රජතුමා විසින් මෙහි විහාරාධිපතින් වහන්සේලා පත්කිරීම පිළිබඳ තඹ සන්නසක් ද පිළියෙල කරවා එතැන් පටන් මෙම විහාරස්ථානයේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව බුද්ධ රක්ඛිත,ධම්ම රක්ඛිත,සංඝරක්ඛිත ලෙස හැදින්විය යුතු බව දන්වා ඇත.



කැළණිය වර්තමාන උද්දීපනය ඇතිවූයේ ක්‍රි:ව 1888 වසරේදීය.කැළණිය විහාරය නගා සිටුවීමට මූලික තැන ගත්තේ හෙලේනා විජේවර්ධන මැතිනිය යි.එතුමිය බුදු මැදුර බිමෙහි ගල් අතුරා ප්‍රතිසංස්කරණය කරවීය.ඒ උතුම් පිංකම සිහිවීම සඳහා ඇගේ නමේ මුල් අකුරු (H.W.D) යනුවෙන් අක්ෂර කොටවා 1888.05.25 ලෙස දිනය සටහන් කො‍ට ඇත.එම ගල් පුවරුව බුදුමැදුර මධ්‍යයේ බිම සවිකොට ඇත.වර්ෂ 1902.02.22 දින කිරිගරුඩ මතුපිට සහිත විශාල මල් ආසනයක් කරවීය.


පැරණි විහාරය

කැළණි විහාරය තුල වූ පැරණි සිතුවම් දහඅටවැනි සියවසට අයත්යැයි සැලකේ.එනම් බු:ව 2394 පමණ, එනම් මහනුවර යුගයට අයත්ය. විහාර ගෙයි දීර්ඝ චතුර්සාකාර ශාලා දෙකකින් යුක්ත වෙයි. එය ඇතුල් විහාරය හා පිට විහාරය වශෙයන් හදුන්වයි.මෙහි චිත්‍ර කලාව ඉන්දියානු සහ සිංහල චිත්‍ර කලාවෙහි සම්මිශ්‍රණයක් වශයෙන් හැදින්විය හැක.1767 මහනුවර යුගයෙහි මෙම චිත්‍ර ඇදීම කර ඇත.

අළුත් විහාරය

කැළණි විහාරයේ අළුත් විහාර මන්දිරයේ වැඩ ආරම්භ වූයේ 1927 වර්ෂයේ ජනවාරි 10 වනදාය.සේදවත්ත වලව්වෙ හෙලේනා විජේවර්ධන ලමාතැනීගේ මූලිකත්වයෙන් මෙම වැඩ ආරම්භ විය.මෙහි චිත්‍ර හා මූර්ති ශිල්පි වශයෙන් කටයුතු කළේ සෝලියස් මැන්දිස් නැමැති කලාකරුවා ය.


අඩි 3 උසැති පදනමක් මත ඉදිකර තිබෙන විහාර මන්දිරය දිගින් අඩි 150 වන අතර පළලින් අඩි 90 ක් වේ.ඉදිරිපිට ඇතුළු වන හා පිටවන දොරටු අලංකාර ලෙස ගජසිංහ රූප සහිතව මනාවට නිම කර ඇත.සමාධි පිළිම වහන්සේ වැඩ සි‍ටින බුදු මැදුරේ ඉහළ මාලය සහිත කොටස උඩරට කලා ශිල්පය අනුව තැනූවකි.


මෙහි පිළිම සහ අනෙකුත් ශිලාම‍ය නෙලීම සඳහා ගල් වඩුවන් පැමිණ සිටියේ ඉන්දියාවෙනි.මෙම කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන්නේ “සුරිනාමි” නැමැති අයෙකි.වසර ගණනාවක් මෙම කටයුතු කරගෙන යන අතර ඉන්දියාවෙන් පැමිණ සිටි “සුරිනාමි” ගල්වඩු නායකයා නාගයෙකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත් විය.


කැළණි විහාරය කොටස් හතරකින් යුක්තවේ.එනම්,


1. රජ පිළිම ගෙය


2. ඔත් පිළිම ගෙය


3. අලුත් පිළිම ගෙය


4. රන් පිළිම ගෙය


යනාදි වශයෙනි.මෙම විහාරයෙහි තිබෙන වටිනාම පිළිමය වනුයේ මණිඅක්ඛිත නා රජුගේ ප්‍රතිමා‍වයි.




කැළණි විහාරයේ සංඝ පරම්පරාව



යටත් විජිත සමයේ කැළණි විහාරයේ සංඝ පරම්පරාව එකදිගටම පැවති
 බවට සාධක හමුවී නොමැත.එම සඟ පරපුර පිළිබඳ සාධක හමුවන්නේ
 18 වන සියවසේදී ය.මහනුවර රජකළ රජුගේ අනුග්‍රහයෙන් හා වැලිවිට
සරණංකර සංඝරාජ හිමියන් විසින් ශාසනික කටයුතු දියුණු කිරීම
 හේතුවෙන් සංඝරාජ පදවිය යලිත් පිහිටුවීමට ඉඩ සැලසුණි.කැළණි
 විහාරයේ කටයුතු බලාකියා ගැනීමේ වගකීම සරණංකර හිමියන් විසින්
උන්වහන්සේගේ හොඳ ගෝල නමක් වූ අත්ථදස්සී හිමියන් හට
 පැවරුණි.උන්වහන්සේගේ ගෝල පිරිස අයත් වූයේ මාපිටිගම
පරම්පරාවට ය.මුලින් වැඩ සිටි බුද්ධරක්ඛිත හිමියන් විසින් කැළණි
විහාරය දියුණු කිරීමට ගත් පියවර ගැන මහනුවර රජ කළ කීර්ති ශ්‍රී
රාජසිංහ රජු කොතරම් පැහැදුනා ද කිවහොත් උන්වහන්සේට නො
යෙක් වරප්‍රසාද සහිතව තඹ සන්නසක්ද රජු විසින් ලැබීම ට සැලැස්වී ය.