උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

Tuesday, April 26, 2011

බුදුන් වහන්සේ කැළණිය ට වැඩි සේක


බුදුන් වහන්සේ සම්‍යක් සම්බෝධි‍යෙන් අටවෙනි වසර වෙසක් පුර පොහෝ දින නාග සමූහයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් මණිඅක්ඛිත නා රජුගේ ආරාධනාවෙන් ලංකාවට වැඩිසේක.


එසේ වැඩ උන්වහන්සේ කැළණි ග‍ඟේ ජල ස්නානය කර මණිඅක්ඛිත නා රජුගේ ආයාචනයෙන් ග‍ඟේ රැළිත් මුවාවෙන තැන ගං පතුලේ ශ්‍රී පාදලාංඡනය තබා අනතුරුව මණිඅක්ඛිත නා රජු ඇතුළු නාග සමූහයන් විසින් වැද අයදින ලද ඒ ශාස්තෘන් වහන්සේ මණි මණ්ඩපය ට වැඩි සේක.


බුදු රදුන් ඇතුළු මහ තෙරුන් වහන්සේලා සමඟ වැඩ හිද දහම් දෙසූ තැන උන්වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට තැනූ සෑය කැළණි චෛත්‍යය යි.මේ සෑය මුලින්ම කුඩාවට බැන්දේ මණ අක්ඛිත නා රජු විසිනි.ඉන්පසු ක්‍රි:පූ තුන්වන සියවසේ දී යථාලතිස්ස රජු විසින් සැටරියනක් උසට ඉදිකරන ලදී.


සිංහල රජ කල කැළණි විහාරය



කැළණි විහාරයේ නිර්මාතෘවරයා මණි අක්ඛිත නා රජුය.ඉන්පසු මායා රට රජ කළ උත්තිය කුමරු කැළණි විහාරය අලුත් වැඩියා කරන ලදී.මහා නාග කුමරුගේ පුත් ය‍ටාලතිස්සයන් ද කැළණි විහාරයට දැක්වූයේ නොමද ගෞරවයකි.එබැවින් එහි පස් මහල් ප්‍රාසාදයක් ඉදිවිය.කැළණි විහාරයේ පෝය ගෙයක් ඉදි කිරීමේ ගෞරවය හිමි වන්නේ ක්‍රි:ව 3 වන සියවසේදී රජ කළ කනිට්ඨතිස්ස රජුට ය.


පොලොන්නරුව රජ කළ පරාක්‍රමබාහු රජතුමා එක් යුධ කඳවුරක් කැළණියේ පැවැත්වූ බව කියවේ.නිශ්ශංකමල්ල රජු ද කැළණිය වැඳ පුදා ගැනීමට පැමිණි බව සෙල්ලිපි වල සඳහන් ‍ය.මාඝ නමි ඉන්දියානු ආක්‍රමණිකයාගෙන් රට බේරාගත් තෙවන විජයබාහු කැළණි විහාරය දියුණු කිරීමට පියවර ගත් බව මහාවංශයේ සඳහන් වේ.විජයබාහු රජුගේ පුත් දෙවන පරාක්‍රමබාහු කුමරුන් දිනපතා පහන් පූජා කිරීමට කැළණි විහාරයට මහා පොල් උයනක් කරවා විහාරයට පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ.


එළු බෝධිවංශය නිකාය සංග්‍රහය වාගේ පොත් ලියවුණේ කැළණියේ වැඩ සිටි සිල්වත් භික්ෂූන් වහන්සේලා විසිනි.හයවන පරාක්‍රමබාහු රජු විසින් බුරුම රටට උපසම්පදාව මෙන්ම සිංහල සාහිත්‍යයේ පෝෂණය සඳහා ද කැළණි විහාර භික්ෂූන් වහන්සේලා සම්බන්ධ වෙයි.