උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

සෝලියස් මැන්දිස්


1897 ජුනි මස 17 වැනි දින හලාවත ගම්මානයක් වූ මහවැව නම් ප්‍රදේශයේ දී උපන් සෝලියස් මැන්දිස් නම් පුත් රුවන අදටත් ඉහලින් වැජඹෙන කලාකරුවෙකි.



මාවිල සුමන කුසුමාරාමයේ අදත් ආරක්ෂාවෙමින් තිබෙන මතු බුදුවෙන ‍‍බෝධිසත්ව රුව සෝලියස් මැන්දිස් කලාකරුවා ළමා වියේ දී කළ ප්‍රථම කලා නිර්මාණය බව කලා ඉතිහාසයේ සඳහන් වේ.මොහුගේ කුසලතාවය දුටු පියාණන් සහ මැවිල විහාරාධිපතින් වහන්සේ එකල දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ මෙමෝනිස් සිල්වා ගුරුන්නාන්සේ හට කුඩා සෝලියස් බාර දුන්නේය.මාවිල විහාරයෙන් සිතුවම් ඇදීම ආරම්භ කළ මේ පුංචි සිත්තරා කැළණි විහාරයේ සිතුවම් අඳින්නට පෙර විහාර කිහිපයක ම සිතුවම් ඇන්දේය.ගිරිඋල්ලේ මැද්දෙපොළ විහාරය,මල්වානේ ලෙන,කම්පල රජමහා විහාරය,හබරාදූව පිටිදූවේ කැළණිගොඩ විහාරයෙහි පොළොන්නරුවේ ශ්‍රී විජය මහා විහාරය යනාදී විහාර ඒ අතර වෙයි.


කැළණි විහාරයේ සිතුවම් ඇඳීම


1930 වන විට කැළණිය විහාරය පිළිසකර කිරීමේ වැඩ ඇරඹිණ.බුදුන් වහන්සේ තුන්වන වරට වැඩියා වූ මෙම පූජනීය භූමියේ සිය කලා හැකියාවන් විදහා පෑමට ලැබූ මෙම අවස්ථාව ඔහු දොහොත් මුදුන් තබා පිළිගත්තේ ය.

1930 සිට 1948 දක්වා පුරා වසර 18 ක් කැළණි විහාරයේ චිත්‍ර ඇදීමේ කටයුතු වල නියැලුණේය.චිත්‍ර ඇදීම සඳහා සායම් නිපදවා ගත්තේ ශිල්පියා විසින්ම ය.ළිං කැනීමේ දී ගොඩට ගනු ලබන මකුල්ල නම් මැටි වර්ගයට බිත්තර සුදු මදය එකතු කරමින් සායම් මාධ්‍ය ය සකස් කර ගත්තේය.එයට විවිධ අමුද්‍රව්‍ය එකතු කරමින් වර්ණ ප්‍රභේද නිර්මාණය කළේය.ලදු කැලෑවල ඇවිදිමින් කටු නෙරංචි,දියමිත්ත කොල,දවල් කුරුදු කොල ආදිය අඹරා ගනිමින් වර්ණ සාදා ගත්තේය.

මෙම කලා කරුවා කැළණි විහාරයේ චිත්‍ර ඇදීමෙන් පසුව කිසිදු විහාරයක සිතුවම් නිර්මාණය නොකළේය.